නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස

නගරං යථා පච්චන්තං
ගුත්තං සන්තරබාහිරං
එවං ගොපෙථ අත්තානං
ඛණො වෙ මා උපච්චගා
ඛණාතීතා හි සොචන්ති
නිරයම්හි සමප්පිතා

-නිරය වග්ග, ධ.ප.

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

අපේ තිලෝගුරු සම්මාසම්බුදු පියාණන් වහන්සේ අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කරල සොයා ගත්ත නිර්වාණ මාර්ගය, එනම්, චතුරාය සත්‍යය පළමුවෙන්ම දෙවි මිනිසුන් සහිත ලෝකයාට හෙළි කොට වදාළේ ඇසළ පුර පසළොස්වක පෝය දවසකයි. ඒක නිසා අද ඉතාමත්ම වටිනා පෝය දවසක්. ඒ වගේම තවත් පැත්තකින් බලන කොට මේ ශාසනික වටිනාකමක් ඇති දවසක් හැටියට සලකන්නට පුළුවනි. සංඝයා වහන්සේලාගේ වස් වීසීම පිළිබඳ ආරම්භක එක්තරා සීමාවක් පෙන්නුම් කරන පෝය දවසක් හැටියට ගත්තහම මේ ඇසළ පුර පසළොස්වක පෝය දවස ඉතා වැදගත් දවසක්. දැන් බුද්ධ ශාසනය කියල කියන එකට අතීතයේ පොත්පතේ සඳහන් වෙන වචනය “ධම්ම විනය” කියන එකයි. “ධර්ම විනය”, ශාස්තෘ ශාසනය හඳුන්වන්න “ධම්ම විනය” කියලා යොදනවා. මොකද, ධර්මයත් විනයත් දෙකම මේකට අදාළ නිසා. වස් කාලය ගැන සිතනකොට විශේෂයෙන්ම සංඝයා වහන්සේලාගේ විනය නීති සමූහයක් හා සම්බන්ධව තිබෙන නිසා මේ වස් කාලය විනය පැත්තෙන් බොහොම වැදගත් දවසක් හැටියට සලකනවා. නමුත් බුද්ධ කාලයේ, ඒ වගේම වස් කාලය ධර්මය පැත්තෙනුත්, ධර්මය කියන අංශයෙනුත් ඉතාම වටිනා දවසක් හැටියට සැලකූ බවයි අපට ඒ පුරාණ කථාන්තරවලින් පෙනෙන්නේ. මොකද බුද්ධකාලයේ චාරිත්‍රයක් තිබුණා, බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කරන කාලයේ, සංඝයා වහන්සේලා වස් කාලයට කලින් බුදු පියාණන් වහන්සේ හමුවෙන්න ගිහිල්ලා කම්මටහන් ලබාගෙන ඈත විවේක ප්‍රදේශයකට ගිහිල්ලා, සුදුසු තැනක වස් වසමින් ඒ කම්මස්ථානය අනුව භාවනා කරල වස් කාලය තුළ කෙසේ හෝ නිවන් දැකල බුදුපියාණන් වහන්සේ ළඟට ඒ සතුටුදායක ආරංචිය රැගෙන එන්න බොහෝම ඕනෑකමක් ඒ සංඝයා වහන්සේලා තුළ තිබුණා. ඒ අනුව බලනකොට, ඒ කාලයේ ඥානවන්ත සංඝයා වහන්සේලා, දූරදර්ශී සංඝයා වහන්සේලා, වස් කාලයක කළ යුතු උතුම්ම ඉහළම පින්කම් හැටියට - වස් පින්කම් හැටියට - සැළකූවේ නිවන් දැකීමයි. හැකිතාක් දුරට උත්සාහ කරල ඒ තුන් මාසය තුළ වීර්යය වඩලා එහෙම නිවන් දකින්නට බැරි වුනොත් ඒ සංඝයා වහන්සේලා තුළ යම් කිසි සංවේගයක් ඇතිවෙනවා. මොකද, නැවත වස් කාලයෙන් පස්සේ බුදුපියාණන් වහන්සේ හමුවෙන්න වැඩියහම බුදුපියාණන් වහන්සේ බොහෝ විට අසන ප්‍රශ්නය තමයි, ඉස්සෙල්ලා සුවදුක් විචාරලා, සාමාන්‍යයෙන් අර පිළිසඳර වශයෙන්, ඊළඟට අහනවා මහණෙනි, පැවිදි වීමේ පරමාර්ථය ඉෂ්ට කරගත්කද කියල. ඒකට හරියාකාරව පිළිතුරු දෙන්න බැරි වුනොත් ඒ සංඝයා වහන්සේලාට ඒක හිතට බොහොම මැලිකමක්. කොටින්ම කියනවා නම් ඒක බුදුපියාණන් වහන්සේ දකින්නට හිස් අතින් ගියා වගේ ගමනක් වෙනවා. අන්න ඒක නිසා සංඝයා වහන්සේලා බොහොම උත්සාහ කළා වස් කාලය තුළ නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්නට. එතකොට, ඒ කාරණා අපට පැහැදිලි වන කථාන්තරයක් තමයි අපි මේ මාතෘකා කළ ගාථාවට අදාළව තිබෙන්නෙ.

බුදුපියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයක සංඝයා වහන්සේලා පිරිසක් ඈත පිටිසර ගමකට - පිටිසර කියල අපි වචනයෙන් කිව්වත් එතන කියවෙන්නේ දේශ සීමාවල පිහිටි ගමකට - ගියා වස් වසන්තට. පළමුවෙනි මාසය තුළ ඒ සංඝයා වහන්සේලාට හොඳට භාවනා කටයුතු කරගන්නට ලැබුණා. ඒ දායක පිරිසේ උපස්ථාන ආදිය හොඳට ලැබුණා. නමුත් දෙවැනි මාසයේදී ඒ ගමට කඩා වැදුණු හොරු පිරිසක් - හොරමුලක් - ඒ ගමේ මිනිසුන් සිරභාරයට අරගෙන ගියා. ඊට පස්සේ මේ ගමේ අය ආරක්ෂා සංවිධාන යොදන්නට පටන් ගත්තා. නැවතත් ඒ හොරමුල ඇවිල්ලා මේ විදියට පහර දෙයි කියලා බයේ ආරක්ෂා සංවිධාන යොදන්න පටන් ගත්තා. නොයෙකුත් විදියේ ප්‍රාකාර බැඳිමින්, කොටු තාප්ප බඳිමින්, ඒ වීදියට යම් යම් ආරක්ෂා සංවිධාන යෙදුවා. ඒක නිසා සංඝයා වහන්සේලාට ඉන් පීඩාවන් ඇති වුනා. ඒ නිසා කොහොම නමුත් මේ සංඝයා වහන්සේලාට ඒ බලාපොරොත්තු වුනු පරමාර්ථය ඉෂ්ට කරගන්න බැරිවුනා. මේ සංඝයා වහන්සේලා වස් කාලයෙන් පස්සේ බුදුපියාණන් වහන්සේ දකින්න වැඩම කරහම බුදුපියාණන් වහන්සේ ඇසුවා “කොහොමද මහණෙනි, වස් කාලය හොඳට සුවසේ වාසය කළාද” කියල. එතකොට මේ සංඝයා වහන්සේලා පැමිණිලි කරනවා “භාග්‍යවතුන් වහන්ස, අපි පළමුවෙනි මාසයේ නම් කරදරයක් නැතිව හොඳට සිටියා. ඊට පස්සේ හොරු කඩා වැදිලා ගමේ ඇතිවුනු තත්ත්වය නිසා ගම්වාසීන් - ඒ දායක පිරිස - ආරක්ෂා සංවිධාන යෙදීමට හිත යෙදුව නිසා අපට එයින් යම් යම් අඩු පාඩු සිද්ධ වුනා. හරියට වස් කාලයේ බණ භාවනා කරගන්න බැරිවුනා.” ඒකට ඒ නිදහසට කාරණා වශයෙන් ප්‍රකාශ කළා. බුදුපියාණන් වහන්සේ ඒ අවස්ථාවේ වදාළා, “මහණෙනි එහෙම තමයි, හොඳ පහසු විහරණය කියන එක හැමදාම ලැබෙන දෙයක් නොවෙයි. නිතර බලාපොරොත්තු විය යුතු දෙයක් නොවෙයි. ඒක සාමාන්‍ය ස්වභාවයක්. නමුත් නුඹලා විසින් කළයුත්තේ මොකක්ද? අර ඒ මනුෂ්‍යයින් නගරය ආරක්ෂා කළා වගේ තමා ආරක්ෂා කරගත යුතුයි. ඒ ගම ආරක්ෂා කර ගැනීමට ඒ මනුෂ්‍යයින් අප්‍රමාද වුනා වගේ, තමුත් තමන්ගේ ආරක්ෂාව සලසා ගතයුතුව තිබුණා කියලා එහෙම ප්‍රකාශ කරමින් අපි අර කලින් මාතෘකා කළ ඒ ගාථා ධර්මය විදාළා.

නගරං යථා පච්චන්තං
ගුත්තං සන්තරබාහිරං
එවං ගොපෙථ අත්තානං
ඛණො වෙ මා උපච්චගා
ඛණාතීතා හි සොචන්ති
නිරයම්හි සමප්පිතා

මේකේ අදහස, දේශ සීමාවක පිහිටි යම්කිසි නගරයක, ඇතුළතින් පිටතින් - අභ්‍යන්තර බාහිර වශයෙන් - හොඳට ආරක්ෂා සංවිධාන යොදල තිබෙන්නෙ යම්සේද, ඒ කියන්නේ, හොඳට අභ්‍යන්තර බාහිර ආරක්ෂාව යෙදූ දේශ සීමාවක පිහිටි නගරයක් යම්සේද - අන්න ඒ අන්දමින්ම - “එවං ගොපෙථ අත්තානං” - ඒ වගේම තමාම තමාගේ ආරක්ෂාව සලසා ගත යුතුය. “එවං ගොපෙථ අත්තානං - ඛණො වෙ මා උපච්චගා” - එහෙම අප්‍රමාදව ඒ කටයුතු කළයුතු බව අඟවන පදයයි ඊළඟට කියවෙන්නේ - “ඛණො වෙ මා උපච්චගා” - ලැබූ මොහොත - නිසි මොහොත - ඉක්ම යා නොදෙවු. මොහොත ඉක්මෙන්න - අවස්ථාව ඉක්මෙන්න - අරින්න එපා. “ඛණො වෙ මා උපච්චගා” ඊළඟට එහෙම අවවාදය හරියාකාරව නොකිරීම නිසා ඇතිවන ආදීනව පිළිබඳවයි, ඊළඟ පද දෙකෙන් ප්‍රකාශ වෙන්නේ - “ඛණාතීතා හි සොචන්ති - නිරයම්හි සමප්පිතා” එහෙම මොහොත ඉක්ම යන්න දුන්නොත් එබඳු අයට වෙන්නෙ මොකක්ද? “ඛණාතීතා හි සොචන්ති” ඒ අයට අඬන්න සිද්ධ වෙනවා. වැළපෙන්න සිද්ධ වෙනවා, කණගාටුවෙන්න සිද්ධ වෙනවා, ශෝක කරන්න සිද්ධ වෙනවා. “නිරයම්හි සමප්පිතා” - මොකද නිරයෙහි වැටිලා - නිරයට වැටිලා දුක්වෙන්න සිද්ධවෙනවා. අන්න ඔය විදියට බුදුපියාණන් වහන්සේ උපදේශාත්මක, අවවාදාත්මක, යම්කිසි ගාථාවක් ප්‍රකාශ කළා. ඒ ගාථාව අහල අර ස්වාමීන් වහන්සේලා රහත් වූ බවත් එතන කියවෙනවා. එතකොට දැන් මේ ගාථාව ආශ්‍රයෙන් අපි කල්පනා කරල බලනකොට මේක තුළ තිබෙන ගැඹුරු ධර්මය - සංඝයා වහන්සේලා බණට භාවනාවට සිත යොදාගෙන ඒ කටයුතු සඳහා යම්කිසි වෙහෙසක් දරනවා, ඒවායේ යම්කිසි අඩුපාඩුවක් සම්පූර්ණ කරන්නා වගේ බොහෝ අවස්ථාවල බුදුපියාණන් වහන්සේ මේ විදියට මේ ගාථා ධර්මයත් දේශනා කරන්නේ. ඒක නිසා අපට හිතාගන්න පුළුවන් ඒ සංඝයා වහන්සේලාගේ ඒ කටයුතු වල අවසානයට උපකාර වෙනවා, කර්මස්ථාන සම්පූර්ණ කර ගැනීමට, බුදුපියාණන් වහන්සේගේ ධර්ම පාඨයක්, ගාථාවක්, පවා. ඒක නිසා වෙන්න පුළුවන්, සමහර විට සංඝයා වහන්සේලා ඒ ගාථාව අහලම රහත් වුනා කියල සඳහන් වෙන්නේ. කෙසේ හෝ වේවා, මේ ගාථා ධර්මයෙහි තිබෙන ගැඹුර අපේ ප්‍රමාණයෙන් අපි කල්පනා කරලා බලමු. දැන් මේ උපමාව බොහොම හොඳයි. අපි මේ අවස්ථාවල උපමාවක් ඔසසේ යන්නේ මොකද මේ ධර්මකාරණය හිත ඇතුළට බහින්න උපකාර වෙන නිසා උපමාව. ‘නගරං යථා පච්චන්තං - ගුත්තං සන්තරබාහිරං’ - මේ උපමාව මේ කාලයටත් බොහොම ගැලපෙනවා කියල හිතාගන්න පුළුවන්. එතකොට, දේශ සීමාවක පිහිටි යම්කිසි නගරයක්, මේක ඇතුළතින් පිටතින් ආරක්ෂා කිරීමක් ගැන මෙතන කියවෙනවා. ඒ වගේම සංඝයා වහන්සේලාට කියනවා ‘එවං ගොපෙථ අත්තානං’ මේ විදියට ආත්මාරක්ෂාව යොදාගන්න කියලා. දැන් මේ කාලයෙත් යොදන වචනයක් නේ ආත්මාරක්ෂාව කියන එක. නමුත් මේ කාලේ නම් ආත්මාරක්ෂාව කියලා කියන කොට කායාරක්ෂාවයි ගැනෙන්නේ. කය රැක ගැනීම. කායාරක්ෂක හැටියෙන් යොදල කය රැක ගැනීම. හිත නම් සමහර විට - ඒක යකාට මාරයාට බාර දුන්නත් වරදක් නැහැ කියන සංකල්පය ලෝකයේ පවතින්නේ. නමුත් බුදුපියාණන් වහන්සේ මෙතන ආත්මාරක්ෂාව කියලා ප්‍රකාශ කළේ හිත රැක ගැනීමයි. මොකද මේ සංසාරයේ අපි ගෙනියන්නේ මේ හිත - විත්ත සන්තානයයි. මේ ශරීරය, මේ ශරීර කූඩුව නම් අතහැරලා යනවා. ඒක නිසා වැඩි තැන දුන්නේ බුදුපියාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම මේ සිත රැක ගැනීමටයි. මෙතනත් අදහස වශයෙන් ගන්න තියෙන්නෙ අර කය රැක ගැනීමම නොවේ. හිත රැක ගැනීම. හිත රැක ගැනීම සඳහා යම්කිසි ප්‍රමාණයකින් කය පිළිබඳව උතන්දුවක් ඇති වෙන්න ඕන. නමුත් බොහෝ දෙනා කරන්නේ හිතට කුමක් හෝ වේවා ඒක ගැන තැකීමක් නැතිව කය රැක ගැනීම. එතකොට මෙතන මේ ගැඹුරු අර්ථය අපි ගත්තනම් තමන්ගේ සිත රැක ගැනීම කියලා, ඊළඟට මෙන්න මේ ආරක්ෂා සංවිධානය ගැතත් අපි හිතලා බලමු - ආරක්ෂාව ගැන මෙතන කියවෙන දේ ගැන.

ධර්මානුකුලව කල්පනා කරලා බලනවා නම් හිතට ඉන්න ආරක්ෂක භටයා කවුද? සතිය, සිහිය. ධර්මානුකුලව ‘සති ආරක්ඛසාරථී’ කියලා එහෙම දක්වලා තිබෙනවා. සිත හික්මවීම, සිත ආරක්ෂා කර ගැනීමේ කටයුත්ත, ඒ කාර්ය භාරය, උසුලන්නේ සති කියන මුර භටයයි. එතකොට මේ සිහිය කියන මුර හටය, හොඳට නිල ඇඳුම් දාගත්තහම අපට තවත් මේක පුළුල් අන්දමින් තේරුම් ගන්න පුළුවන් සති සම්පජඤ්ඤය කියලා. සම්පජඤ්ඤය කියන එකට අපි සමහර අවස්ථාවලදී, මේක සිංහල වචනයක් කරගන්න ඕන නිසා ‘දැනුවත් බව’ කියල ප්‍රකාශ කළා. එහෙම නැත්නම්, මනා දැනුම් ඇතිව, සිහි ඇතිව සිටීම. සිහියත් එක්කම යන මනා දැනුම. ඉතින් මෙතන මේ දැනුවත් බවක් ඇති සිහියයි, මෙතන මේ ප්‍රකාශ කෙරෙන්නේ. එතකොට ලෝකයේ ඔය ආරක්ෂක භටයින් යොදන කොට, දැන් නගරයක වගේ තැනක ඇතුළතත්, පිටතත් ආරක්ෂාව ගැන ප්‍රකාශ කරනවා. නගරයක සාමාන්‍යයෙන් ඇතුළත දොරටුව, ඇතුල්වන දොරටුව, ඊළඟට ඒ කොටු තාප්ප ආදිය, ප්‍රාකාර ආදිය, ඊළඟට පිටත බලනවා නම්, අට්ටාල, මුර ගෙවල්, තව දිය අගල් ආදි ඔය අතීතයේ නගරවල් ආරක්ෂා කරගන්න නොයෙකුත් විධිවිධාන - ආරක්ෂා විධිවිධාන - යොදලා තිබුනා. මේ කාලයේ උනත් දැන් අර මුර හටයෙක් සාමාන්‍යයෙන් නවත්වන්නේ දොරටුවක් ළඟ. දොරටුවක් ළඟ නවත්වන කොට ඒ දොරටුව බොහොම පටු දොරටුවක් වෙන්න ඕන. ලොකු දොරටුවක් නම් අර එන පිරිසට කඩා වදින්න පුළුවන්. එතකොට මේ සිහිය කියන එකත් අපි ධර්මානුකුලව කල්පනා කරලා බලනවා නම් - සතිය කියන එක - සතිය කියන කොට ඒ ‘සති’ කියන වචනයේ මතකය කියන අදහසත් තිබෙනවා. නමුත් ධර්මානුකුලව සම්මා සතිය ගැන කියන කොට මේක නිතරම එළඹ සිටි සිහිය. මේක වර්තමානයට අදාළ දෙයක්. මොකද අතීතයට දුවන්න පටන් ගත්තොත්, අනාගතයට පනින්න පටන් ගත්තොත්, එතන අර දොරටුව පළල් වෙනවා. එතකොට අපිට රැකින්න තියෙන දොරටුව මොකක්ද? ධර්මානුකුලව බලන කොට මේ ඉන්ද්‍රිය දොරටු හයයි. ඇස, කණ, නාසය, දිව, කය, සිත. සිතත් ඇතුළත්ව මෙන්න මේ ඉන්ද්‍රිය හය, ඉන්ද්‍රිය දොරටු හය. බාහිර ඉන්ද්‍රිය පහ තමයි ඇස, කණ, නාසය, දිව, කය කියන ඒවා. ඊළඟට සිත. මනින්ද්‍රිය. මෙන්න මේ ඉන්ද්‍රිය දොරටු හයයි රැක ගන්න තිබෙන්නෙ. මේ දොරටු හය රැක ගැනීමේදී මේ දොරටු හයට හැම තිස්සෙම කඩා වදින්න බලාගෙන ඉන්නවා, මාර සේනාව, කෙලෙස් සේනාව. සතුරු සේනාව. කඩා වදින්න බලාගෙන සිටින ඒ සේනාව තමා අරමුණු. ඇසට නම් රූප අරමුණු. කණට නම් ශබ්ද අරමුණු, නාසයට නම් ගඳ සුවඳ. ඔය විදියට මේ සිත කලඹන, සිත ඇළීම් වලට ඇඳීම් වලට, මෝහයට, මුළාවට, පත් කරන සතුරු සේනා කඩා වදින්න බලාගෙන ඉන්නවා. බොහොම ශීඝ්‍රයෙන් ඒවගේම එන්නේ. එබඳු අවස්ථාවක දැන් විශාල පිරිසක් එතකොට ඒ දොරටුව ළඟට, ඉස්සෙල්ලාම ඒ අයට දන්නනවා ‘එන්න ඕන පෝලිමේ’. පෝලිමේ එන්න ඕන. එක්කෙනා පස්සේ එක්කෙනා. එහෙම නැතිව රැකගන්නට බැහැ මේක. අන්න ඒ විදියට මේක පටු දොරටුවක් කරහම එක තමයි පහසුව වර්තමානයේ සිත රඳවා ගන්නට. වර්තමානයේ සිත රඳවා ගැනීම තුළින් අතීතයට දුවන්නේ නැතිව, අනාගතයට පනින්නේ නැතිව, එහෙම ඒ එන එන හැම එකකටම සිහිය යොමු කිරීමයි මෙතන ප්‍රකාශ කෙරෙන්නේ. එතකොට ඒ සිහියත් එක්කම ඊළඟට ඒ සිහිය තුළින් කරන්නේ මොකක්ද? යම්කිසි ක්‍රියාත්මක සීමාවක් අවශ්‍ය වෙනවා. අර දැනුවත් බව උපකාරී කරගෙන මෙනෙහි කිරීමක් කරනවා. එක්තරා මනසිකාරයක්, මෙනෙහි කිරීමක්. මෙනෙහි කිරීමක් යොදනවා.

අපි හිතමු දැන් ඔය ආරක්ෂක හටයෙක් ඉන්නවා නම් ඒ තැනැත්තාට අයිති කාර්ය නිදා ගැනීම නොවෙයි. හොඳට අවදිමත්ව ඉඳගෙන, එන එන පුද්ගලයා පිළිබදව යම්කිසි විමසුම් ඇසක් යොමු කරනවා. ඒක ඒ තැනැත්තාගේ දක්ෂතාව අනුවයි. බොහොම ශීඝ්‍රයෙන් ඒක කරන්නට සිද්ධ වෙනවා. එහෙම එක්කෙනෙකුත් ගොඩක් වෙලා රදවා ගෙන ඉන්නත් බැහැ එතන. එනවා. ඊළඟට විමසුම් ඇසට හාජනය කරලා එයාව ඇතුල් කරගත යුතු කෙනා නම් ඇතුල් කරගන්නවා. එහෙම නැත්නම් පිට කරන්නට ඕන කෙනා නම් පිට කරනවා. ඔය දෙකයි තියෙන්නෙ. එතකොට මෙතනදී උවමනා කරන්නේ ඒ දක්ෂතාවයි, ඒ මෙනෙහි කිරීම මෙතන දීර්ඝ වශයෙන් කරන්නට බැහැ. දැන් මේ කාලයේ නම් පින්වතුන් හොඳට දන්නවා ඒ විදියේ තැන්වලදී හැඳුනුම්පතක් කියලා එකක් කියනවා. එතකොට, ඒ හැඳුනුම්පත විදියට නැතත්, අතීතයෙත් යම් යම් ආකාරයෙන් කෙතෙක් ආවාම හඳුනාගන්න ක්‍රම තිබෙන්නට ඇති. ඒ හැඳුනුම්පතක නමක් තිබෙනවා. රූපයක් තිබෙනවා. එතකොට මේ නමින් තමයි මේ තැනැත්තා හඳුන්වන්නේ. මේ හැඳිනීමට අනුකූල වුනු යම්කිසි රූපයකුත් අරගෙනයි මේ තැනැත්තා එන්නේ. නමුත් බොහෝවිට කෙරෙන්නේ මොකක්ද? ඒ හතුරු හමුදාවල් එනවා නම්, ඔත්තුකාරයින් එනවා නම්, වෙස් වළාගෙනයි එන්නේ. නියම ආකාරයෙන් නොවෙයි. එතකොට ඒ අය හඳුනගන්නට ඕන. ඉතාමත් දක්ෂ මුර හටයෙක් නම්, ඒ අය අර අනම් මනම් කථාවලට යන්නට නොදී අර හැඳුනුම්පත ඉදිරිපත් කරලා, තමන්ට ඇතුළ් වෙන්නට සුදුසුකම ඔප්පු කරන්නට කියන්නට ඕන. අන්න ඒ විදියට, අපි ධර්මානුකූලව කල්පනා කරලා බලනවා නම්, මේ එන අරමුණු - මේ සතුරු සේනා - අර විදියේ හඳුනා ගැනීමේ පොදු ක්‍රමයක් තිබෙනවා. ඒකට කියනවා ‘නාම-රූප’ කියලා. නාම රූප වශයෙනුයි මෙනෙහි කරලා හඳුනා ගන්නේ. දැන් අපි හිතමු රූපයක් එනවා ඉදිරියට. මොකක් හරි රූපයක් එනවා. මේ විදර්ශනා භාවනායෝගියාට සිද්ධ වෙන දෙයක්. එතකොට මේ එන රූපය වෙස්වළාගෙනයි එන්නේ. වර්ණ සංතාන කියලා කියන්නේ. ඒවායේ පාට, නොයෙකුත් විදියේ පාට. ඊළඟට තව නොයෙකුත් සටහන්. මිට නිසා සිත විශේෂ වෙන්න ඉඩ කියනවා. ඒවට සිත යොමු කරන්නේ නැතිව - ‘මේක රූපයක්’. එතකොට අර භාවනා යෝගියා මේ කොයි විදියේ රූපයක් ආවත් ඒක ‘රූපයක් රූපයක්’ කියලා මෙනෙහි කරනවා. ඊට වඩා ඇතට යන්නේ නැහැ. මොකද ඒකට හේතුව බුදුපියාණන් වහන්සේ දක්වා තිබෙන්නෙ ඊට වඩා ඇතට යන්ට සිටියොත් ඒ සිත නවත්වා ගන්න බැරි වෙනවා. කෙලෙස් වලට ඇදිලා යනවා. ඒවට කියන්නේ නිමිති. නිමිති අනුව්‍යඤ්ජන ගන්නවා කියලා කියනවා. ඒ කියන්නේ නිමිත්තක්, නිමිති අනුව ගන්නා වූ අනිකුත් ලක්ෂණත්. ඒ තැනැත්තා ඒ දකින රූපයේ - යම්කිසි කෙනෙකු හෝ යම්කිසි දෙයක් හෝ දැක්කහම - ඒක පිළිබඳව තව නොයෙකුත් සිතිවිලි - කෙලෙස් සිතිවිලි - රාශියක් කඩා වදින්න පුළුවන් නිසා ඒක කෙටියෙන් මෙනෙහි කරනවා ‘රූපයක්’ කියලා.

ඒ වගේම ඒකට අදාළව මෙතන තිබෙන්නෙ, කොටින්ම සලකා ගන්න තිබෙන්නෙ, ලකුණු තුනයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලකුණු තුනයි. ඒ ලකුණු තුන දාලා තමයි මේ හැම එකක්ම පාස් කරන්නේ. එතකොට ඒ ලකුණු තුන දාන්ට උපකාර වෙන්නේ - මේක හඳුනා ගන්නට මෙතන තිබෙන්නෙ වෙන දෙයක් නොවෙයි. දැන් නාම ධර්ම කියන එක, ඒ ධර්මානුකුලව පෙන්නුම් කරන්නේ වේදනා සඤ්ඤා චේතනා, ස්පර්ශ මනසිකාර. දැන් මේක ධර්මයට සමාන්තර කරලයි දක්වන්න උත්සාහ කරන්නේ. නාම ධර්ම කියන ඒවා සාමාන්‍යයෙන් හිත හා සම්බන්ධ දේවල්. ඉතින් මෙතන හිතට සම්බන්ධ දේවල් තමයි වේදනාවල්. කෙනෙක් යම්කිසි දෙයක් හඳුනාගන්නේ, දැන් කුඩා දරුවෙක් උනත් බොහෝ විට බහ තෝරන්න දන්නෙ නැති කෙනෙක් නම් මේවා හඳුනාගන්නේ - අන්න ඔය විදියේ දේවල් වලින්. යම්කිසි විඳින එකක්. එහෙම නැත්නම් තමන්ට දුන්න දෙයක් පිළිබදව විඳින එක, ඒකේ ඇති වේදනාව ආශ්‍රයෙන්. එහෙම නැත්නම් ඒක තුළින් යම්කිසි සංඥාවක්. ඊළඟට ඒවා පිළිබදව ඇති වන සිතිවිල්ලක්, ඒවායේ ස්පර්ශය. ඒවා පිළිබදව අපි මෙනෙහි කරන ආකාරය. අන්න ඔය විදියට මේවා ගැඹුරු වශයෙන් බලනකොට විදර්ශනාවට උපකාර වෙන ඒ නාම ධර්ම ටික. ඊළඟට රූප ධර්ම හැටියට ගන්න කොටත් අර කලින් කියාපු ඒ වර්ණ සංතාන - වර්ණ සටහන් - ආදිය ගැන නොවෙයි සිතන්නේ. මේ හැම එකක්ම, ලෝකයේ තිබෙන තාක් දේවල්, අපේ ශරීරයත්, බාහිර දේවලුත් හැදිලා තිබෙන මූල ධාතු මොනවාද? පඨවි. ආපෝ, තේජෝ, වායෝ. මේ මහ පොළොවත්, අපේ ශරීරයත් හැදිලා තිබෙන්නෙ අර පඨවි කියලා කියන තද ගතිය ඇති යම්කිසි දෙයක්. ඊළඟට ආපෝ, ගලන ස්වභාවය ඇති ජලය - ජලයෙන් පෙන්නුම් කරන එක. ඊළඟට තේජෝ කියලා කියන ගින්න. ඊළඟට වායෝ කියලා කියන හුළඟ. ඔය හතරට අදාල දේවල්වලින් තමා අපේ ශරීරත්, බාහිර දේවලුත් හැදිලා තිබෙන්නෙ. ඔන්න ඕක නිසා ධර්මානුකුලව කල්පනා කරලා බලනකොට, අර ‘සති’ කියන මුරකරුවාට මනසිකාරය ඔස්සේ තේරුම් ගන්න තිබෙන්නෙ අන්න ඔය විදියට. තව නොයෙකුත්, ඉදිරියට එන රූපයේ තිබෙන බාහිර නිමිති ඔස්සේ හිත දුවවන්නේ නැහැ. එතකොට අර කෙලෙස් ගලාගෙන එන නිසා. ඒ විදියට නාම රූප කියලා අපි ගත්තොත්, දැන් මේක තමයි හැඳුනුම්පත. මේ හැඳුනුම්පත බලලයි අපි මේවා පාස් කරන්නේ. අන්න දැන් අරමුණක් ආවා. ඒක නවත්තගන්නේ නැහැ. ඒක ගියා. ආවා ගියා, ආවා ගියා. ඒක තුළින් අපි අනිත්‍යතාව, මේවායේ හැම එකකම ඇති අනිත්‍ය ස්වභාවය, එන යන ස්වභාවය, වටහා ගන්නවා. ඔය විදියට තමයි ඉතින්, ඇස. කන්, නාසාදිය. දැන් ශබ්දයක් - අපි වචනයක් නවත්වන කොට ඒක එක්කම කනට යම්කිසි ස්පර්ශයක් එනවා. දැන් ඔය රබානක, බෙරයක, වාගේ දේක නම් යමක් වැදුනට පස්සේ හුහක් වෙලා දෝංකාරයකුත් කියනවා. රබානකට වගේ දෙයකට ගහනකොට ඉබේටම දෝංකාරයක් එනවා. ඒ වගේම වචනය තුළින් හිතේ ඇතිවන සිතුවිලි, ඒවා පිළිබදවත් යම්කිසි දෝංකාරයක් එනවා. ඒක නිසා තමයි නැවත මතක් කරගන්න පුළුවන් වෙන්නේ. මතක් වෙන්නේ. ඔය විදියට ඉතින් කණ පිළිබදව. ඔය එක එකක් ගැන හිතාගන්න පුළුවන්. දිව පිළිබදව ඉතාමත් පහසුවෙන් හිතා ගන්න පුළුවන් කුඩා දරුවෙකුට පවා. ඉතින් ඔය හැම එකකම මේ අරමුණු ගලාගෙන එනවා. ඉතාම ශීඝ්‍රයෙන් එන්නේ. දැන් භාවනායෝගියා නම් ඒවා ඔස්සේ ඇදිලා ඇඳීම් වලට හේතු නොවන ආකාරයට, ඇඳීම්වලට හේතු නොවන ආකාරයට, එතන ඔය විදියේ මධ්‍යස්ථ ප්‍රමාණයකින් හඳුනා ගන්නවා. හඳුනා ගැනීම තුළ, අර මෙනෙහි කිරීම තුළ, ප්‍රඥාව ක්‍රියාත්මක වෙනවා. එතකොට නිවන් දැකීමට නම් සතියයි, ප්‍රඥාවයි කියන දෙක දියුණු කරගන්න ඕන. මේ ප්‍රඥාව කියන එක අන්න ඔය මෙනෙහි කිරීම තුළින් ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අර සිහිය යොදලා මේක හඳුනා ගැනීමක් කරනවා. ඉතාම ශීඝ්‍රයෙන් කරන්ට ඕන. මොකද ඒකට හේතුව, බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා මේ ලෝකයේ අපේ ඉන්ද්‍රියයන්ට ගලාගෙන එන අරමුණු ඉතා ශීඝ්‍රයෙන් එන්නේ. එක් අවස්ථාවක අජිත කියන බ්‍රාහ්මණ තරුණයාට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළා,

යානි සෝතානි ලෝකස්මිං
සති තේසං නිවාරණං
සෝතානං සංවරං බ්‍රූමි
පඤ්ඤායෙතේ පිධීයරේ

(සුත්ත නිපාත, ගා. 1039)

කියලා. යම් තාක් ලෝකයේ ගලාගෙන එන දිය පහරවල් තිබේද අන්න ඒ දිය පහරවල් වලට සතිය තමයි - මේ සති කියලා කියන සිහිය තමයි - මේවා වළක්වන මාර්ගය. වැළැක්වීම - ‘සති තේසං නිවාරණං’, ‘සෝතානං සංවරං බ්‍රූමි’ මේ ගලාගෙන එන දිය පාරවල් වැළැක්වීමේ ක්‍රමයයි මම මේ ප්‍රකාශ කළේ. ‘පඤ්ඤායෙතේ පිධීයරේ’ නමුත් ඇත්ත වශයෙන් මේ ඔක්කොම වසන්ට පුළුවන් වෙන්නේ, දිය පහරවල් සම්පූර්ණයෙන් වසා දමන්ට පුළුවන් වෙන්නේ, ප්‍රඥාවෙන්. එතකොට මේ කියන සතියෙන් - අර දැන් යම්කිසි වේගයකින් ගලාගෙන එන ගඟක ඉස්සෙල්ලාම එකපාරටම වේල්ලක් බඳින්ට බැහැ. ගලාගෙන එන වතුර ටිකක් වළක්වා ගන්න යම්කිසි උපක්‍රමයක් යොදන්න සිද්ධ වෙනවා. දැන් අර කඩා වදින පිරිසත්, අර ආරක්ෂක හටයා ඔහොම පොඩිඩක් ඉන්න කියලා නවත්ත ගත්තවා වගේ. ඊළඟට පරීක්ෂණයට හාජනය කරනවා. පරීක්ෂණයට හාජනය කිරීම තුළින් අර තැනැත්තාගේ යථා තත්ත්වය වටහා ගන්නවා. කෙලෙස් අරමුණක් නම් එහෙම පිටින්ම එක තල්ලු කරලා දානවා. අන්න ඔය විදියට දැන් වතුරක් උනත්, වේල්ල බැන්දට පස්සේ තමයි ඒක සම්පූර්ණ වෙන්නේ. ප්‍රඥාව තමයි වේල්ල. ප්‍රඥාව, ගැඹුරු අවබෝධය, ධර්මාවබෝධය. මේක පිළිබඳ යථා තත්ත්වය.

එතකොට මෙතන මේ තියෙන්නෙ භාවනාවට අදාළ වන කාරණයක්. ඒක ඇසුරින් තේරුම් ගැනීමෙන් තමයි සංඝයා වහන්සේලා රහත් වෙන්න ඇත්තේ. ඉතින් මෙතන මේ කියන්නේ සිත ආරක්ෂා කරගැනීම, සිත තමයි නගරය. මේකට දොරටු හයක් කියනවා. මේ දොරටු හයෙන් සිත කියලා කියන්නේ සිතට එන සිතුවිලි. ඒ ඇරුනහම අනිකුත් බාහිර අරමුණු. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා. අන්න මේවා ගලාගෙන එන අවස්ථාවේදී අර සිහිය යොදවලා, සිහිය සහිත දැනුවත් බව යොදවලා, එක එකක් පාසා මෙනෙහි කරන්න ඕන. ඒ මෙනෙහි කිරීමත් ඉතාමත්ම ශීඝ්‍රයෙන් කරන්ට වෙනවා. දිගට කිය කියා ඉන්නවත් නොවෙයි. එක රූපයක්, නම් රූපයක්, රූපයක්. ශබ්දයක් නම් සද්දයක්, සද්දයක්, කියලා දෙවරක්. ‘රූපයක් රූපයක්’, ‘සද්දයක් සද්දයක්’ ඒ විදියට ‘ගඳක් ගඳක්’, ‘රසක් රසක්’ හිතට දෙනවා ඒ හැඳින්වීම. හඳුන්වා දීම තුළින් ඒක අවබෝධ කරලා එතැනින් කෙළවර කරනවා. අන්න ඔය විදියේ හික්මීමක් තමයි ඒ භාවනාවේදී, විදර්ශනා භාවනාවේදී, කෙනෙක් යොදාගන්නේ. මේ අදහසයි එතකොට මෙතන මේ ගාථාවෙන් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නෙ. කොටින්ම නිවන පිළිබදවයි මෙතන ප්‍රකාශ කෙරෙන්නේ. නිවනට උපකාර වෙන ධර්ම. ඒක නිසා තමයි ඊළඟට ‘ඛණො වෙ මා උපච්චගා’, මේ නිවන් දැකීමට ඇති අවස්ථාව - මේක ‘ඉක්ම යා නොදෙවු’ කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ ක්ෂණය කියන එක - ක්ෂණ සම්පත්තිය කියන එක මේ ධර්මයේ දක්වලා තිබෙන්නෙ - බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නෙ, බුද්ධෝත්පාද කාලයක ලබන මනුෂ්‍යාත්මභාවය - ඒ මුළු ජීවිතයම - එක ක්ෂණයක් හැටියටයි සලකන්න ඕන කියලා. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මහණෙනි, මේ ලෝකයා නිතරම ‘ඛණකිච්චෝ ලෝකො - ඛණකිච්චෝ ලෝකො’ කියල ලෝකයා කියනවයි කිව්වේ. මේ ලෝකය කියන එක වෙලාවට වැඩ කරන තැනක්. ක්ෂණයට වැඩ කරන තැනක් කියන කතාව කියනවයි. නමුත් නියම මොහොත මොකක්ද? අනිසි මොහොත මොකක්ද? කියන එක ලෝකයා දන්නෙ නැක, කියලා ඊළඟට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ දැන් ඔන්න මහණෙනි බුදුකෙනෙක් ලෝකයේ ඉපදිලා ඉන්නවා. ධර්මයත් දේශනා කරනවා. නමුත් යම්කිසි පුද්ගලයෙක් නිරයේ ඉපදිලා ඉන්නවා. එතකොට ඉතින් අර බුදු කෙනෙක් උපන්නට තමන්ට නිවන් දකින්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක අන්න අර කියාපු අනිසි මොහොත. ඒ කියන්නේ වෙලාව වරදින්න පුළුවන් අවස්ථාවල් අටක් බුදුපියාණන් වහන්සේ දක්වනවා - මොහොත නොවන අවස්ථාවල්. අටකින් පෙන්නුම් කරලා, ඒ අටෙන් මිදුන කෙනෙක් බුද්ධෝත්පාද කාලයක නියම මොහොත ලබා ගන්නවා කියලා. එතකොට පළමුවෙන් කිව්වේ බුදුකෙනෙක් ඉපදිලා ඉන්නවා. ධර්මයත් දේශනා කරනවා. නමුත් මේ අවාසනාවන්ත පුද්ගලයා නිරේ ඉපදිලා ඉන්නවා. එතකොට බෑ මේ ධර්මයෙන් වැඩක් ගන්න. දුක් කෙළවර කර ගන්න. ඒ පළමුවෙනි එක. ඊළඟට ප්‍රකාශ කරනවා - ඒකත් ඒ වගේමයි. බුදුකෙනෙක් ඉපදිලා ධර්මයත් දේශනා කරනවා. නමුත් ඒ තැනැත්තා ප්‍රේත ලෝකයේ ඉපදිලා ඉන්නවා. ඊළඟට තවත් තුන්වෙනුව දක්වනව. බුදුකෙනෙක් ඉපදිලා ධර්මයත් දේශනා කරනවා. මේ තැනැත්තා තිරිසනෙක්. තිරිසන් ලෝකයේ. එබඳු අවස්ථාවකත් බැහැ මේ අනුව නිර්වාණ මාර්ගයේ ගමන් කරලා සසර දුකින් මිදෙන්ට. ඊළඟට ඒවගේම බුදුකෙනෙක් ඉපදිලා ධර්මයත් දේශනා කරනවා. යම්කිසි කෙනෙක් බොහොම දීර්ඝායුෂ්ක දේව නිකායක - දිව්‍ය ලෝකයක ඉපදිලා ඉන්නවා. ඒ දෙව්ලොව සැප සම්පත් ආදියට යෙදිල ඉන්න අවස්ථාවක ශාසන බ්‍රහ්ම චරියාව රැකලා මේ ත්‍රිලක්ෂණය - අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණය වඩලා සසර දුක් කෙළවර කරගන්න ලැබෙන්නේ නැහැ. ඒක අපහසුයි. ඒවායේ සැප සම්පත් ආදී නොයෙකුත් හේතුන් නිසා. මනුෂ්‍ය ලෝකය තමයි නිවන් දැකීමට හොඳම තැන. ඊළඟට තවත් සමහර විට බුදුකෙනෙක් ඉපදිලා ඉන්නවා. ධර්මයත් දේශනා කරනවා. නමුත් යම්කිසි පුද්ගලයෙක් ඉපදිලා ඉන්නවා ඈත ප්‍රදේශයක. සාමාන්‍යයෙන් බුදුවරු උපදින්නේ දඹදිව මධ්‍යම ප්‍රදේශයයි කියලයි කියන්නේ. එතකොට ඒ මධ්‍ය ප්‍රදේශයේ උපන් කෙනා තමයි වාසනාවන්ත උත්පත්තිය ලැබුවේ. ඒ කියන්නේ ධර්මය අසන්ත වගේම ධර්මය අනුව හැසිරෙන්නත් පුළුවන් විදියේ තත්ත්වයක් බුද්ධ කාලයේ ඒ ප්‍රදේශයේ තියෙනවා. ඉතින් එබඳු කාලයක යම්කිසි කෙනෙක් ඉපදිලා ඉන්නවා නම් ඉතාමත් ඈත, ඒ ධර්මය අසත්තටවත් නොලැබෙන, ඒ වගේම භික්ෂු භික්ෂුණි. උපාසක උපාසිකා කියන සිවුවනස් පිරිස නොයන විදියේ ප්‍රදේශයක ඉන්නවා නම්, එබඳු කෙනෙකුටත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්ත බැහැ. අන්න එතකොට ඒ අවස්ථාවත් නියම අවස්ථාවක් නොවෙයි. ඒකත් අවාසනාවන්ත වෙලාවක්. ඊළඟට, තවත් සමහරවිට බුදුකෙනෙක් ඉපදිලා ඉන්නවා. ධර්මයත් දේශනා කරනවා. යම්කිසි පුද්ගලයෙක් මධ්‍යම ප්‍රදේශයේම, ඒ ප්‍රදේශයෙමත් වාසය කරනවා. නමුත් ඒ තැනැත්තා තදින්ම මිථ්‍යාදෘෂ්ටිකයි. දැඩි මිථ්‍යාදෘෂ්ටියකින් අන්ධ වෙලයි ඉන්නේ. එබඳු තැනැත්තාට ධර්මයෙන් ප්‍රයෝජන ගත්ත බැහැ. එබඳු අවස්ථාව අන්න අවාසනාවන්ත අවස්ථාවක්. ඊළඟට දක්වනවා බුදුකෙනෙක් ඉපදිලා ඉන්නවා. ධර්මයත් දේශනා කරනවා. මේ තැනැත්තාට යමක් කියලා තේරුම් කරන්න බැහැ. ප්‍රඥාව නැහැ. ඒ කියන්නේ නුවණ මෝරපු නැති කෙනා. එහෙම කෙනාට ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට බැහැ. ඔය විදියට ඒ අවස්ථාවත් අවාසනාවන්ත අවස්ථාවක්. ඊළඟට අන්තිමට කියන අවස්ථාවේ යම්කිසි කෙනෙක් ඉන්නවා හොඳට ප්‍රඥාවන්තයි. දඹදිව මධ්‍යම ප්‍රදේශයේ ඉපදිලා තිබෙන්නෙ. ඒ අනිත් ඔක්කොම සම්පූර්ණයි. නමුත් බුදුකෙනෙක් ඉපදිලා නැහැ. ධර්මය දේශනා කරන්නේ නැහැ. ඔය අටවෙනි අවස්ථාව.

ඔන්න ඔය විදියට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. නිසි මොහොත නොවන අවස්ථා අටක් තියනවා. ඔය අවස්ථා අටෙන් බේරිලා බුද්ධෝත්පාද කාලයක ධර්මය අසන්නට පුළුවන්, ධර්මය අනුව හැසිරෙන්නට පුළුවන්, හරි ප්‍රදේශයක උත්පත්තියක් ලබනවා නම් යම්කිසි කෙනෙක් ඉන්ද්‍රිය විකල භාවයක් නැතිව, ප්‍රඥාව ඇතිව, අන්න ඒක ඉතාමත් දුර්ලභ මොහොතක්, ක්ෂණයක්, හැටියට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට තම තමන් ගැන හිතන්ට තිබෙන්නෙ අන්න ඒ විදියේ උතුම් අවස්ථාවක් ලබාගත්තු හැටියටයි. ඒ ක්ෂණ සම්පත්තියයි මේ අපතේ දාන්ත එපා කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒ ක්ෂණය අත හැරුනොත්, ඒ වෙලාව අත හැරුනොත්, බුදුපියාණන් වහන්සේ උපමාවක් දක්වනවා, හරියට යම්කිසි වෙළෙන්දෙකුට ලාභයට බඩුවක් ගන්න පුළුවන් අවස්ථාව ආවා. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැතිව අන්තිමට පසුතැවෙනවා. අන්න ඒ වගේ පසුතැවෙන්ට වෙනවා, අර ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් අවදියක ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක, මේ අති දීර්ඝ සංසාරයේ එබඳු අවස්ථාවකුත් ලබාගෙන, ඉත් ප්‍රයෝජන ගන්නේ නැහැ. ප්‍රයෝජනය කියලා කියන්නේ මොකක්ද? නිවන් දැකීමයි. සසර දුක් කෙළවර කර ගැනීමයි. යටත් පිරිසෙයින් අර කියාපු හැටියට අපායෙන් මිදීමට උපකාර වන ඒ සෝවාන් මාර්ග ලාභයෙන් ලෝකෝත්තර තත්ත්වයක් ලබා ගැනීමයි. ඔන්න ඔය විදියට අපට මේ ගාථාව තේරුම් ගන්න වෙන්නේ.

ඒ නිසා තමයි ‘ඛණාතීතා හි සොචන්ති, නිරයම්හි සමප්පිතා’ - කියාපු උතුම් මොහොත අතහැරි ගියොත් ඒ තැනැත්තාට වෙන්නේ නිරයෙහි වැටිලා දුක් විදින්නයි. ශෝක වෙන්නයි. ඇත්ත වශයෙන්ම අපි අර කලින් කියාපු ආකාරයට කය රැක ගන්න කොතෙකුත් උත්සාහ යොදනවා මේ කාලයේ, නමුත් සිත රැක ගැනීම ගැන උනන්දු නොවන නිසා මේ කෙටි ජීවිත කාලය, අර විදියට නොයෙකුත් ආරක්ෂා සංවිධාන යොදලා, සමහරවිට ඒ ආරක්ෂකයින් තිසාම මරුමුවට පත්වෙලා, අන්තිමට ගිහින් උපදින්නේ කොහෙද? ප්‍රේත ලෝක වල, යක්ෂ ලෝකවල, නරක තැන්වල, එහෙම නැත්නම් නිරයේ. එබඳු තැන්වල උපදින කථාන්තර නොයෙකුත් ආකාරයෙන් අපට අසන්නට ලැබෙනවා. අන්න එබඳු ඒ ඉතාමත් අවාසනාවන්ත යුගයකයි අපි ජීවත් වෙන්නේ. නමුත් නුවණින් කල්පනා කරන පින්වතුන් හැම තිස්සෙම හිතන්න ඕන බුදුපියාණන් වහන්සේගේ අවවාදය අනුව, මෙතන මේ ආත්මාරක්ෂාව කිව්වේ හිත රැක ගැනීමයි. හිත රැක ගැනීම කියල කියන්නේ අන්න අර හිතට එන දොරටු - හිත හා සම්බන්ධ දොරටු හය - සතියෙන්, ඒ සති කියන ධර්මය යොදලා තම තමන්ගේ භාවනාවට අදාළ අන්දමින් මුරකරුවාට අයිති වැඩේ පවරන එකයි. සතිය එක්ක යන සම්පජඤ්ඤය කියන දැනුවත් බව පිළිබඳව ධර්මයෙහි දැක්වෙන්නේ - ඒ දැනුවත් බව සතර ආකාරයෙන් පෙන්නුම් කරලා තියෙනවා. යම්කිසි කර්මස්ථානයක් පුරුදු කරන කෙනෙකුට ඒ කර්මස්ථානය අනුව ඒ දැනුවත් බව යොදන්නට සිද්ධ වෙනවා. ඒ කියන්නේ යම්කිසි අරමුණක් ආවම, ඒ අරමුණ තමන් කරන කර්මස්ථානයට උපකාරවත් වෙන දෙයක්ද? ප්‍රයෝජනවත් වෙන දෙයක්ද? ඒක අර්ථවත් ද? කියලා ඒ විදියට කල්පනා කරන්ට වෙනවා. ඊළඟට තමන්ගේ භාවනාවට සප්පායද, ඒකට සුදුසුද? යෝග්‍යද? ඒ විදියටත් හිතන්න වෙනවා. නමුත් ඒ වගේම ඒ හැම අරමුණක් තුළින්ම හැම අවස්ථාවකම කර්මස්ථානයක් රැකගන්ට පුළුවන් ද කියල ඒක ගැනත් බලන්ට ඕන. ඊළඟට මේ අරමුණ පිළිබදව මුළාවන ස්වභාවය - ඒක නැතිව ඒ අරමුණ දිහා බලන්න හැකියාවකුත් ලබාගන්ට ඕන. ඔය විදියට ගැඹුරින් කල්පනා කරලා බලනකොට, අර ආරක්ෂක හටයා තමන්ට අයිති කාර්යය, ඒ කාර්යභාරය, ඉෂ්ට කිරීමේදී සැහෙන දැනුවත් බවක් තියාගන්නවා වගේ යෝගාවචරයත්, භාවනාවට යෙදුනු කෙනාත්, ඒ තමන්ගේ කර්මස්ථානය රැක ගන්නවා. කර්මස්ථානයයි තමන්ට අයිති රැකගන්ට තිබෙන එකම දේ. ඒ කමටහන් පැවැත්වීම තුළින් තමයි කෙනෙකුට නිවන් දකින්නට පුළුවන් වෙන්නේ. ඒක නිසා තමයි අර සම්පජඤ්ඤය කියන එක, දැනුවත් බව - මනා දැනුම කියන එක - ඉතාමත් පුළුල් අන්දමින් තේරුම් ගත යුතුව තිබෙන්නෙ. එතකොට මෙන්න මේ විදියට මේ සතිය රැක ගැනීමට උපකාර වන අරමුණු තමයි සතර සතිපට්ඨානය හැටියට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නෙ. ඒ කියන්නේ, වෙන දේවල්, බාහිර දේවල්, නොවෙයි මෙතන කියන්නේ. තමන්ට ලැබිච්ච ශරීරයම - මේ කය - අනුව සිහිය පිහිටුවනවා. ඊළඟට වේදනාවල් අනුව. ඊළඟට සිත, සිතේ ස්වභාවය. ඒක ඒ ඒ ආකාරයෙන් තේරුම් ගන්නවා. ඊළඟට සිතට එන සිතුවිලි. කයත්, වේදනාවත්, සිතත්, සිතුවිලිත්, කියලා ගන්න පුළුවන් පොදුවේ. මෙන්න මේවා පිළිබදව - මේවායේ - සිහිය පිහිටුවා ගැනීම කියන්නේ නිතරම වර්තමානයේම ජීවත් වීමයි. සාමාන්‍යයෙන් ලෝකයා ජීවත් වෙන්නේ එක්කෝ අනාගතයේ එහෙම නැත්නම් අතීතයේ. අනාගතයට කරන්න තියෙන දේ ගැන සිතමින්, එහෙම නැත්නම් අතීතයේ සිදුවුන දේවල් ගැන සිතමින්, මල අතීතයේ සහ නුපන් අනාගතයක් එක්කයි, ලෝකයා සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. මෙතන මේ ස්වභාවය ඉවත් කරලා හැකිතාක් දුරට වර්තමානයේ ජීවත් වීමට උත්සාහ කරන හැටියටයි, බුදුපියාණන් වහන්සේ අවවාදය දී තිබෙන්නෙ.

එතෙනදීත් අපට සිතාගන්න පුළුවන් අර මුරහටයා පිළිබදව. ඒ මුර හටයා තමාගේ මුර දොරටුව ඉක්මවූ තැනැත්තා ඔස්සේ දුවන්න ගියොත් ඒ තමාගේ නිලයට අයිති කාර්යභාරය කරගන්න ලැබෙන්නේ නැහැ. සුළු මොහොතක් ඇතුළත පූර්ණ අවධානයක් යොමුකරලා පරීක්ෂා කිරීම තුළින් තත්ත්වය වටහාගෙන ඒ කෙනාට යන්න දෙනවා. ඊළඟ කෙනාට ලැස්ති වෙලා ඉන්නවා. හොඳ හුරුබුහුටි දක්ෂ මුර හටයෙක් හැම තිස්සෙම එන එන කෙනාට සුදානම්. ඒවගේ අර හොඳට සිහිය පිහිටවපු තැනැත්තා එන එන අරමුණු හැම එකක්ම ඒවායේ යථා තත්ත්වය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් යථා තත්ත්වය - තේරුම් අරගෙන, ඒවාට යන්න අරිනවා. යන්න අරින්නේ මොකද? ඒවා හැම තිස්සෙම එන යන ස්වභාවයක් ඇති දේවල්, අනිත්‍ය ස්වභාවයක් ඇති දේවල්, නිසා. අනිත්‍ය දේ අනිත්‍ය හැටියට තේරුම් ගැනීමයි එතකොට මේ - ප්‍රත්‍යක්ෂය තුළින්ම. මේ විදියට සතිය පුරුදු කිරීම තුළින් ක්‍රමක්‍රමයෙන් අර ප්‍රඥාව දියුණු වෙනවා. ප්‍රඥාව කියලා කියන්නේ අවබෝධය. මුළු මහත් ලෝකයේම තිබෙන හැම දෙයක්ම අනිත්‍ය ස්වභාව බව ඇසුරින් වටහා ගැනීම තුළින් තමයි කෙනෙකුට නිවන් දකින්න පුළුවන් වෙන්නේ. මොකද, ලෝකය තුළ තිබෙනවා විපරීත අදහස්. ‘විපල්ලාස’ කියලා කියන්නේ - විපරීත අදහස් හතරක් කියනවා. අනිත්‍ය දේ නිත්‍ය කියලා හිතා ගන්නවා. අසුභ දේ සුභ හැටියට හිතා ගන්නවා. දුක්ඛ සහිත දේ සැප හැටියට හිතා ගන්නවා. තමාගේ නොවන අනාත්ම දේ, තමාගේ හැටියට හිතා ගන්නවා. ඔය විදියට විපරීත දෘෂ්ටි හතරක් තුළයි ලෝකයා ජීවත් වෙන්නේ. මේ සංසාරයේ සත්ත්වයා දිගට යන්නේ ඔය විපල්ලාස කියන විපරීත ධර්ම හතර නිසා බව බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ විපරීත තත්ත්වයෙන් ඉවත් වෙලා, මුළාවෙන්, මෝහයෙන් ඉවත් වෙලා, අවිද්‍යාවෙන් ඉවත් වෙලා, ප්‍රඥාව අනුව ජීවත් වීමේ මාර්ගයයි, ඔය සතර සතිපට්ඨානය කියලා කියන්නේ. මේකට වැඩි වියදමක් යන දෙයක් නොවෙයි. කොහෙත්ම වියදමක් යන දෙයක් නොවෙයි. හැබැයි යම්කිසි පරිත්‍යාගයක් කරන්න සිද්ධ වෙනවා. එදිනෙදා ජීවිතයේ සාමාන්‍යයෙන් වැදගත් හැටියට, වටිනා හැටියට, ලෝකයා - එහෙමත් නැත්නම් ආටෝප සාටෝප ලෝකයා - සිතන දේවල් පිළිබදව, තමන්ම ඒවාට දෙන වටිනාකම් පිළිබදව, නැවත සළකා බලලා, ඒවා පිළිබදව ධර්මානුකුලව තමන් යම්කිසි නිගමනයක් ගතයුතුව තිබෙනවා, තමන්ගේ ජීවිතය ගෙවීයන ආකාරය ගැනත්. දැන් සාමාන්‍යයෙන් ලෝකයා, අර බුදු පියාණන් වහන්සේ එකම ක්ෂණයක් කියලා මේ ජීවිත කාලය හැඳින්වූවත්, මේ ජීවිතය, මේ එක පොඩි ක්ෂණය, මේක බෙදාගෙන මගේ ජීවිතයේ අවසාන කාලය කියලා ඒ විදියට වෙන්කර ගන්නවා. සමහරවිට බණ භාවනාදිය, සිල් රැකීම ආදිය ජීවිතයේ අවසාන කාලයෙයි කියලා. නමුත් බුදුපියාණන් වහන්සේ නිතරම මතක් කර දෙන්නේ අප්‍රමාද බව. ඒවගේම මරණය කොයි වෙලාවෙද කියලා නැති බව. බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවක සංවේගය උපදවන අන්දමින් එක ගාථාවක් වදාළා.

අජ්ජේව කිච්චමාතප්පං
කො ජඤ්ඤා මරණං සුවේ
න හි නො සංගරං තේන
මහාසේනේන මච්චුනා

(භද්දේකරත්ත සූ., මජ්ඣිම නිකාය)

ඒක අපි සිංහලයට නැගුවොත්

කළයුතු කිස කරව අද - ම
මරණය විය හැකි නො හෙට - ම
නැහැ නොවැ කළහැකි ගිවිසුම් - ම
මහසෙන් ඇති මරු සහ එ - ම

මහාසේනා ඇති මාරයාත් එක්ක ගිවිසුමකට එළඹෙන්නට බැහැ නේද? “මට ටිකක් කල් දෙන්න මගේ දූ දරුවන්ගෙන් නිදහස් වෙනකං. රස්සාවෙන් විශ්‍රාම ගන්නකං, අනිකුත් පින්කම් ඒ කියන්නේ බණ භාවනාදිය කරගන්න බැරි වුනා” කියලා, “මට කාලය වෙන්කර ගන්න බැරිවුනා” කියලා. ඒ විදියට මාරයාත් එක්ක ගිවිසුමක් කරගන්න බැහැ. ඔය තත්ත්වයයි ලෝකයේ පවතින්නේ. අන්න ඒක නිසා අර අතිදීර්ඝ සංසාරයේ මේ ලබන බුද්ධෝත්පාද කාලයක ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන්, ධර්මය අනුව හැසිරෙන්න පුළුවන්, ප්‍රදේශයක උත්පත්තිය ලබන ඥානවන්ත මනුෂ්‍යයාකු මේ මුළු ජීවිතයම එක ක්ෂණයක් හැටියටයි සලකන්න ඕන.

එතකොට ඒ ක්ෂණය - අන්න ඒකට තමයි අර ‘ඛණකිච්චෝ ලෝකො - ඛණකිච්චෝ ලෝකො’ කියල ලෝකයා කියනවයි කිව්වේ. මේ ලෝකය වෙලාවට වැඩ කරන තැනක්ය කියලා හැමෝම කියනවා. මේ කාලෙත් නගරයක නම් හැමතිස්සෙම ඒක කියනවා ඇහෙනවා අපට. කාර්යාලවලදී, ඒ වගේම අනිත් තැන්වලදී. ලෞකික වැඩ කෙරෙන තැන්වල නම් නිතරම අප්‍රමාදයයි කතාව. වාහන වල ගමන නම්, ඒත් අප්‍රමාදයයි කතාව. නමුත් ධර්මයෙහි ගමන නම්, ශාසන ගමන නම්, බණ භාවනා පිළිබදව නම්, එතන අප්‍රමාදයක් නැහැ. ඔය විදියේ තත්ත්වයක් ලෝකේ තියෙන්නෙ. බුදුපියාණන් වහන්සේගේ දර්ශනය ඊට වඩා වෙනස්. දැන් කොටින්ම කියනවා නම්, අර කියාපු සතිය පිහිටුවීම සඳහා සමහරවිට එදිනෙදා ජීවිතයේ කරගෙන යන ක්‍රියා පවා අපට සෙමින් කරන්න සිද්ධ වෙනවා. අප්‍රමාදය කියලා කියන්නේ ධර්මානුකුලව මේවා පිළිබදව සතිය මතුකර ගැනීමයි. එතකොට සතිය මතුකර ගැනීම සඳහා විශේෂයෙන්ම ආරම්භයේදී සමහරවිට ලෙඩෙක් හැටියට ඉරියවු පවත්වන්නට සිද්ධ වෙනවා. ඒ කටයුතු කරන්නට සිද්ධ වෙනවා. මොකද, ශීඝ්‍රයෙන් අරමුණු ගලාගෙන එනවා. මේවා අර පවු දොරටුවක් තුළට ගත්තහම, එකින් පාස් වෙන්න සැලැස්සුවහම, පාලනය කිරීම පහසුයි. ඒක නිසා මේ හැම එකක්ම හෙමි හෙමිහිට කරලා, සමහරවිට, මේවා පිළිබදව ගැඹුරු අවබෝධයක් ලබන්නට සිද්ධ වෙනවා. නමුත් එදිනෙදා ජීවිතයේ සාර්ථක ජීවිතය කියලා ලබාගත්තු ඔය ලොකු නිලකල ඇති මහ ධනවත් අයගේ ජීවිත කතාවලින් බලනවා නම් ඒ අය සමහරවිට එහෙම නොවෙයි, ජීවිතය ගතකරලා තියෙන්නෙ. මහා වැඩ රාශියක් බදාගෙන, නිදි මරාගෙන, නොයෙකුත් අපරාධ ආදියක් කරගෙන, ධනය රැස්කරගෙන තියෙන්නෙ. නමුත් එබඳු දෙයක් නොවෙයි මේ ධර්මයෙහි කියන්නේ. අර කියාපු අර මහා ධන සම්භාරය අතහැරලා වාම් ඇඳුමකට යොමුවෙලා ‘වාම් දිවි පැවතුම් උසස් සිතුම් පැතුම්’ කියන ඒ න්‍යායට අනුව, අමාරුවෙන් නමුත් පෝය දවසක හෝ නිවාඩු දවසක හෝ මේ විදියට සිල් සමාදන් වෙලා. ඒ වෙනුවෙන් වෙන්වෙලා, බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්මයෙහි සත්‍යතාව තමන්ම උරහා බලන්නට ඕන. තමන්ම ක්‍රියාත්මක කරලා බලන්නට ඕන. ඒ විදියට දවසක් හෝ ගතකරා නම් අර ජීවිත කාලයක්ම ලබපු ඒ අත්දැකීම් වලට වඩා අමුතු අත්දැකීමක් එදාට කෙනෙකුට ලබාගන්ට පුළුවනි. ඒක නිසයි බුදුපියාණන් වහන්සේ වදාළේ මේක ‘පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි’ කියලා. මේ ධර්මය නුවණැත්තන් විසින් තම තමන්ම තේරුම් ගතයුතු දෙයක්. මේ ධර්මය ගැන ප්‍රකාශ කරන පද හයක් මේ පින්වතුන් නිතර අහලා කියනවා. ‘ස්වාක්ඛාතො’ ස්වාක්ඛාත වූ ධර්මයක් - ස්වාක්ඛාත කියලා කියන්නේ මොකද. මේ ධර්මය හරියට ප්‍රකාශ කරලා තිබෙනවා කියන්නේ බුදුපියාණන් වහන්සේගේ ධර්මය මිහිරි නිසා පමණක් නොවෙයි. ඒ වචන, ඒ දේශනාව, ඉතාමත් අංග සම්පූර්ණ නිසා පමණක් නොවෙයි. ඒ ධර්මය ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රතිඵල තෙළාගන්නට පුළුවන් නිසයි ඒක ස්වාක්ඛාතො වෙන්නේ ගැඹුරු අර්ථයෙන්. දුරක්ඛාත කියලා කියන්නේ වැරදි විදියට දේශනා කරපු. වැරදි විදියට දේශනා කරපු ධර්මයක, ශාසනයක, ආගමක, කුසීතයයි සැපයෙන් ඉන්නේ කියල බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ‘ස්වාක්ඛාතව’ හරියාකාර දේශනා කරපු ධර්මයක වීර්යවන්තයයි සැපයෙන් ඉන්නේ කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේක ගැඹුරු අදහසක්. ඒ කියන්නේ වැරදි ආකාරයෙන් මිථ්‍යාදෘෂ්ටි වශයෙන් දේශනා කළ ධර්මයක නම් ඒ තැනැත්තා හරියට ජීවත් වුනොත් ඒ තැනැත්තා අපායට යන්නේ. ඒක නිසා කුසීතයා එතන සැපෙන් ඉන්නේ. නමුත් මේ ස්වාක්ඛාත ධර්මයෙහි වීර්යවන්තකයටයි සැපෙන් ඉන්න පුළුවන් වෙන්නේ. සැපෙන් ජීවත් වෙන්නේ. කුසීතයා දුකසේ ඉන්නේ. කළයුතු දේ, අර කියාපු කළයුතු කිස, අදම කරගන්නේ නැති කෙනා කණගාටුවට පත්වෙනවා. මේ ජීවිතයේදීත්. මරණ මංචකයේදීත් දුක් වෙනවා. ඊළඟට, ඊට වඩා හයානක අන්දමින් අර ‘නිරයම්හි සමප්පිතා’ කියලා කියපු ආකාරයට නිරයට වැටිලා දුක්විදින්නට සිද්ධ වෙනවා. ආයි, ජීවත් වෙන ඥාතීන්ගේ පිහිට ඉල්ලන්ත වෙනවා, පෙනී, නොපෙනී, නොයෙක් ආකාරයෙන්. ඔය විදියේ තත්ත්වයක් සංසාරයේ, ලෝකයේ, පවතින නිසා තමයි බුදුපියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල මෙබඳු මේ දේශනා ප්‍රකාශ කොට වදාළේ. එතකොට ඒ ධර්මයේ ස්වාක්ඛාත ගුණය එහෙමයි.

සන්දිට්ඨික කියලා කියන්නේ අන්න අර මෙලොව අත්දුටු වශයෙන් තමන්ට මේ ධර්මය පුරුදු කරලා මේකේ සාර්ථකත්වය තමන්ටම උරහා බලන්නට පුළුවන්. සන්දිට්ඨීක වශයෙන්. ආයි පරලොවක ලබන නිවනක් නොවෙයි, මෙතන ප්‍රකාශ කරන්නේ, බුදුපියාණන් වහන්සේගේ ධර්මයෙහි. අනිකුත් හැම ධර්මවලම පරමාර්ථය කියලා කියන දේ, ඉහලම දේ මරණින් මතු ලැබිය හැකි තත්ත්වයක් හැටියටයි දක්වලා තියෙන්නෙ. අපේ බුදුපියාණන් වහන්සේ පමණයි, මෙලොව - ‘දිට්ඨේව ධම්මේ’ කියලා කියන්නේ මෙලොව - මේ නිවන් සුව ප්‍රත්‍යක්ෂ කරගත හැකි බව, සසර දුක් කෙළවර කිරීම මෙලොවදී කරගත හැකි බව, ප්‍රකාශ කළේ. එතකොට ඒ ඉහළ අර්ථයෙන් අර සෝවාන් ආදී මාර්ග ඵල ප්‍රත්‍යක්ෂ කරගැනීමම පමණක් නොවෙයි, එදිනෙදා අර කියාපු විදියට, අපි අර කලින් සඳහන් කරපු ආකාරයට, එක දවසක් හෝ වෙන්වෙලා ඉරියව් හෙමින් පවත්වමින් චරිතානුකූල යම්කිසි කර්මස්ථානයක් පරිහරණය කරමින් කර්මස්ථානයට අනුව ඒ ධර්මයන්ගේ සත්‍යය උරහා බලන පුද්ගලයට එක දවසින්ම බුදුපියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇතිකරගන්න පුළුවන්. පොත්පතේ කියන ශ්‍රද්ධාව නොවෙයි, තමා තුළින්ම. බුදුපියාණන් වහන්සේ මේ තරම් ධර්මයත් දේශනා කරලා තියෙනවා නේද කියලා. අන්න සන්දිට්ඨීයි. ඊළඟට අකාලික කියලා කියන්නේ මේ ධම්‍යාගේ කල් නොයවාම විපාක දෙන ස්වභාවයක් කියනවා. මේක තෑගිදෙන දෙයක් හැටියට නොවෙයි. යම්කිසි දේකට, ඔය සමහර කෙනෙක් යම්කිසි තත්ත්වයක් ලැබුවම ඒකට තෑග්ගක් දෙනවා. ඒකට තමන්ගේ සුදුසුකම ඉදිරිපත් කරලා තෑග්ග දෙනකල් බලා ඉන්න ඕන. එහෙම එකක් නැහැ මේකේ. මේවා සම්පූර්ණ කරනවාත් එක්කම ප්‍රතිඵලය. දැන් බුදුපියාණන් වහන්සේ ඒක ඉතාමත් සරල අන්දමිනුත් දැක්වූවා, ගැඹුරු අන්දමිනුත් දැක්වූවා. සරල අන්දමින් ප්‍රකාශ කරලා තියෙනවා. එක්තරා බ්‍රාහ්මණයෙක් විමසූ අවස්ථාවක. ‘මොකක්ද භාග්‍යවතුන් වහන්ස මේ සන්දිට්ඨික අකාලික ඒහි පස්සික කියන එකේ තේරුම’, කියලා බුදුපියාණන් වහන්සේගෙන් ඇහුවා. බුදුපියාණන් වහන්සේ ඒ බමුණට ඒ බමුණු තත්ත්වයේ ඉදගෙනම උනත් තේරුම් ගන්න පුළුවන් අන්දමට ඒක තේරුම් කරල දුන්නා. අන්න දැන් බ්‍රාහ්මණය, නුඹට කියනවා යම්කිසි දෙයක් පිළිබද ලෝභයක්. ඒ ලෝභය, මොකක් හරි උත්සාහයක් යොදලා පරිත්‍යාගශීලීත්වයේ අගය තේරුම් අරගෙන, ඒ විදියට ලෝභය ඉවත් කරා කියමු. ඒ වෙලාවෙම නුඹට තේරෙනවා නේද අර ලෝභය නිසා අර තරම් මම දුක් විත්දා. දැන් ලෝභය අතහැරිය නිසා මට මේ තරම් සැනසීමක් ලැබුණා. අන්න සන්දිට්ඨික අකාලික කියලා කියන්නේ ඒකට. එතනම ප්‍රතිඵල ලැබෙනවා. ආයි මේක බලාගෙන ඉන්න ඕනෑ. ඊළඟට ද්වේෂය ගැනත් එහෙමයි. දැන් ඔන්න නුඹ කවුරුවත් එක්ක තරහ වෙනවා. ද්වේෂය ඇතිකර ගන්නවා. ඒ ද්වේෂය ඇතිවුන වෙලාවේ එහෙම පිටින්ම මුහුණත් වෙනස් වෙලා, විකෘති වෙලා, ඒවා පිළිබද යම්කිසි දුකක් දෝමනසක් නුඹ විදිනවා ද්වේෂය නිසා. ඒ ද්වේෂය, මෛත්‍රි ආදී සිතුවිලි වලින් ඉවත් කරගත්තොත්, කරුණාවෙන් ඉවත් කර ගත්තොත්, අන්න ඒ අවස්ථාවේ ලොකු සැනසීමක් ලැබෙනවා. එතකොට නුඹට එතනදීම අත්දකින්නට ලැබෙනවා. මෝහය පිළිබදවත් එහෙමයි. මෝහය ඇතිවුන අවස්ථාවේ අර විදියට සතිය පිහිටුවා ගෙන කටයුතු කළා නම්. ඒ අවස්ථාවේ මෙනෙහි කිරීම හරියට කරා නම්, ඒ ප්‍රඥාවේ ආනිසංශය එතනම තියෙනවා. එතකොට සාමාන්‍ය වශයෙන් එහෙමයි. ගැඹුරු අර්ථයෙන් බැලුවම ආර්ය අෂ්ටාංශික මාර්ගය සම්පූර්ණ කරනවාත් එක්කම සෝවාන් එල ලැබෙනවා. ආයි බුදුපියාණන් වහන්සේ ඇවිල්ලා ඔන්න මම සෝවාන්කම දෙනවා කියලා කියන්න ඕන නැහැ. එහෙම එකක් නැහැ. ඒක ධර්මයේම තියෙන බවයි, ධර්මය ක්‍රියාත්මක කිරීමෙන් ලැබෙන බවයි, ප්‍රකාශ කරන්නේ එතන. ‘අකාලික’ - කල් නොයවාම විපාක දෙනවා.

එහිපස්සික කියල කියන්නේ එව, බලව කියන එකයි. ඇවිල්ල බලන්න කියලා කියනවා. බුදුපියාණන් වහන්සේ නෙවෙයි ඇවිල්ලා බලන්න කියන්නේ ධම්‍යමයි. මේ ධර්මය හඬගා කියනවා මාව ක්‍රියාත්මක කරලා බලන්න කියලා. එතකොට ධම්‍යයි මෙතන එහිපස්සික වෙන්නේ. ‘එව - බලව’ “ඇවිල්ලා බලන්න, ක්‍රියාත්මක කරලා බලන්න”. ඒ විදියට ආරාධනාවක් කරනවා. “ඕපනයික” කියලා කියන්නේ මේ ධර්මයේ ස්වභාවය එකකට එකක් පුදුම අන්දමින් සම්බන්ධ වෙලා කියනවා, හේතු ප්‍රත්‍ය සම්බන්ධතාවක් අනුව. දැන් ඒක හොඳට හිතා ගන්න පුළුවන් යම්කිසි කෙනෙකුට. මිථ්‍යාදෘෂ්ටිය තිබ්බ පුද්ගලයෙක් සම්‍යක් දෘෂ්ටිය ඇති කරගන්ට බුදුපියාණන් වහන්සේගෙන් ධර්මය අහල හොඳ තරක තේරුම් අරගෙන, කුසල් අකුසල් තේරුම් අරගෙන, චතුරාර්ය සත්‍යය පිළිබද යම්කිසි අවබෝධයක් ඇතිකර ගත්තා නම් ඒ පුද්ගලයාට අන්න එතනදී සම්‍යක් දෘෂ්ටිය ඇති වෙනවා, යම්කිසි ප්‍රමාණයකට. ඒ සම්‍යක් දෘෂ්ටිය එක්කම ඒ තැනැත්තාට හොඳ සංකල්පනා ඇති වෙනවා. මහණ වීම හොඳයි. නෙක්ඛම්ම - අත්හැරීම හොඳයි. අවිහිංසාව හොඳයි. මෛත්‍රීය හොඳයි කියලා ඒ පැත්තට මෛත්‍රී සිතුවිලි, ඒ විදියේ හොඳ සිතුවිලි ඇතිවෙනවා. අන්න සම්‍යක් සංකල්පය. ඒකට තමයි බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ‘සම්මාදිට්ඨීස්ස සම්මාසංකප්පො පහෝති’ සම්‍යක් දෘෂ්ටිය ඇති පුද්ගලයාට ඉබේම, නිරායාසයෙන්ම, නිතැනින්ම, සම්‍යක් සංකල්ප - හොඳ සංකල්පනා ඇති වෙනවා. ඒ විදියට අර ගිහි ගෙවල්වල මසුරුබවින් රැඳි සිටීම නොවේ, පැවිදි වීම - ඒ නෙක්ඛම්මය - කොයි තරම් වටිනා දෙයක් ද? ඊළඟට ඒවගේම හිංසාවෙන් ඉවත්වෙලා අවිහිංසා සිතුවිලි, කරුණා සිතුවිලි පැවැත්වීම කොයිතරම් වටිනා දෙයක් ද? ද්වේෂයෙන් ඉවත් වෙලා මෛත්‍රී සිතුවිලි. ඒ විදියට සිතුවිලි වලින් ඒ තැනැත්තා ඒ අවස්ථාවේම ආනිසංස තෙළාගන්නවා. ඔතන තියෙනවා ‘ඕපනයිකො’ - එකකින් එකකට ඇදගෙන යනවා. සම්‍යක්දෘෂ්ටිය ඇති කෙනාට සම්‍යක් සංකල්ප පහළ වෙනවා. සම්‍යක් සංකල්පනාවල් ඇති කෙනාට ඒ අනුව හොඳ වචන පිටවෙනවා කටින්. සත්‍ය වචන, ඒ වගේම අනුත් සමගි කරවන වචන, මුදු මොළොක් වචන, ධර්මානුකූල වචන, ඒ තැනැත්තාගේ මුවින් පිටවෙනවා. අන්න එතකොට ‘සම්මා සංකප්පස්ස සම්මා වාචා පහෝති’ - හොඳ සිතුවිලි, හොඳ සිතුම් පැතුම් ඇති කෙනාට, හොඳ සිතුම් පැතුම් නිසාම හොඳ වචන ඒ තැනැත්තා කුළින් පිටවෙනවා. ‘ඊළඟට සම්මාවාචස්ස සම්මාකම්මන්තො පහෝති’ - හොඳ වචන පාරිශුද්ධි කරන තැනැත්තා කල්පනා කරනවා මම මේ විදියට මේ නෙක්ඛම්ම සිතුවිලි, මෛත්‍රී සිතුවිලි, අවිහිංසා සිතුවිලි පවත්වනවා. සිතුවිලි පාරිශුද්ධි කරන්නේ එහෙමයි. වචනත් පාරිශුද්ධි කරන්නේ එහෙමයි. ඒ නිසා මේ විදියට සතුන් මැරීම, සොරකම් කිරීම, කාමමිථ්‍යාචාරය ආදී දේවල් මට ගැලපෙන්නේ නැහැ කියලා එයිනුත් ඉබේටම වැළැක්මක් වෙනවා. ඊළඟට ඒ විදියට දවසක් දෙකක් කිරීම පමණක් නොවෙයි සම්‍යක් ආජීවය - තමාගේ ජීවිකාවක් ජීවන රටාවත් ඒ අනුව හැඩගස්ස ගන්නවා, යම්කිසි පරිත්‍යාගයක් කරන්ට සිද්ධ වුනත්. ‘මේවා ඉදහිටලා පෝය දවසට චිතරක් රැකිය යුතු දේවල් නොවෙයි. මගේ ජීවිකාවම, මුළු ජීවන රටාවම හරිගස්සගන්න ඕන, මේ කියාපු ප්‍රතිපදාව අනුව’, කියලා ඒ තැනැත්තා උත්සාහවත් වෙලා, සම්‍යක් ආජීවය සකස් කර ගන්නවා. හරි දිවි පැවැත්ම. අන්න හරි දිවි පැවැත්ම ඇතිවුන පුද්ගලයා තමා දරණ උත්සාහය තුළින් ඊළඟට සම්මා වායාම කියලා කියන හරි වෙර දැරුම දරනවා. නියම වෙර දැරුම කියන එක හොඳට දාඩිය දානකල් යම්කිසි වැඩක යෙදීම නොවෙයි. නියම වීර්යය කියලා කියන්නේ මොකක් ද? අර හිත පිළිබදව හොඳට සැළකිල්ලෙන් සිටිමින් සිතට ගලාගෙන එන්න සුදානම් වන අකුසල් වළක්වාලීමත්, හිත තුළ ඇති අකුසල් නෙරපා ඈරීමත්, කුසල් ධර්ම ලංකර ගැනීමත්. තමා තුළ තිබෙන ඒ හොඳ කුසල් ධර්ම තහවුරු කර ගැනීමත් කියන හතර ආකාර වීර්යයයි. තමාගේ දිවිපැවැත්ම සඳහා යම්කිසි පරිත්‍යාගයක් කරලා ධාර්මික දිවි පැවැත්මක් සකස් කරගන්නා පුද්ගලයා තුළ ඇතිවන ඒ වීර්ය ඕකයි. එතකොට මේ තැනැත්තා ඒ වීර්ය තුළින්ම, ඔන්න ඊළඟට ඒ වීර්ය යෙදීමේදී අර කියාපු සතිපට්ඨානයට ඉබේටම වැටෙනවා. සතර සතිපට්ඨානය සම්පූර්ණ වෙනවා. මොකද, ඒ තැනැත්තා නිතරම සැවිල්ලෙන් ඉන්නේ තමාගේ සිත ගැන. ඒ හිත අනුව ක්‍රියා කරන කය ගැන. කයත් සිතත් එකිනෙකකට සම්බන්ධවයි ක්‍රියා කරන්නේ. සාමාන්‍ය පුද්ගලයා කයට යටවෙලා හිත ගැන තොතකා හරිනවා. බුදුපියාණන් වහන්සේ ‘මනෝ පුබ්බංගමා ධම්මා’ කියන ඒ ධර්මයට අනුව සිතම මූල් වෙනවා කියලා පෙන්වනවා. දැන් ධම්ම පදය කියන පොතේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ ගාථා රාශියකටම මුල හැටියට දක්වලා තිබෙන්නෙ, ඒ රුවන් ගබඩාවේ දොර හැටියට තිබෙන්නෙ - ‘මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා’ මේ හැම දෙයකටම සිතම පෙරටු වෙනවා. සිතම ශ්‍රේෂ්ඨයි. සිතෙන්මයි මේ හැම දෙයක්ම හැදෙන්නේ කියලා. කිසිකෙනෙකුට මේක බොරුය කියලා බොරු කරන්න බැහැ. මේක ලෞකික විද්‍යාඥයෙකුටවත් බොරු කරන්න බැහැ. අන්න ඒ විදියේ පුදුම දේශනාවක්. ඒක නිසා බුදුපියාණන් වහන්සේ හිතටයි මුල්තැන දුන්නේ. ‘චිත්තෙන නීයති ලෝකො’ කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළා. මුළු ලෝකයම ඇදගෙන යන්නේ හිතෙන්. දැන් සාමාන්‍යයෙන් හිතෙන් නේ මේ දේවල් ලෝකයා කල්පනා කරන්නේ. ඒ විද්‍යාඥයා විද්‍යාගාරයේදී ඒවා කරන්නෙ හිතෙන්. එතකොට හිතෙනුයි මේ ඔක්කොම ඇදගෙන යන්නේ. හඳට යන්නෙත් හිතෙන්. මේ හැම එකක්ම කරන්නේ හිතෙන්. මේවා සාමාන්‍යයෙන් වැරදියට වටහා ගෙන විපරීත විදියට තේරුම් කරන්නත් පුළුවන් සමහර කෙනෙක්. නමුත් මෙතන තිබෙන්නෙ හැම එකකටම හිත ප්‍රධාන බව. බුදුපියාණන් වහන්සේ ඒ කළ ප්‍රකාශය කවදත් සත්‍යයක්.

‘චිත්තෙන නීයති ලෝකො’, ඒකනිසා තමයි බුදුපියාණන් වහන්සේ මෙතන සිතටම මුල්තැන දෙන්නේ.

අර සම්‍යක් දෘෂ්ටිය කියලා කියන හරි දැක්ම කෙතෙකුත් තුළ පහළ වුනා නම්, එතන ඉදලා ඇතිවන ධර්ම පරම්පරාවයි ආර්ය අෂ්ටාංශික මාර්ගය කියලා කියන්නේ. මේ ප්‍රතිපදාව මේ මුළු ලෝකයේම ඇති හැම මාර්ගයකටම වඩා ශ්‍රේෂ්ඨයි කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. නොයෙකුත් විදියේ පලල් මාර්ග, හොඳ සැප පහසු වාහනවලට යන්ට පුළුවන් මාර්ග, තොයෙකුත්, විදියේ මාර්ග ලෝකයේ තිබෙනවා. නමුත්, ‘මග්ගානට්ඨංගිකො සෙට්ඨො’ කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා කියනවා. මේ අංග අටකින් යුක්ත මාර්ගය තමයි ශ්‍රේෂ්ඨ කියලා. අන්න ඒ විදියට, එතකොට සතර සතිපට්ඨානයෙන් මේ සතිය සම්පූර් වුනා නම් එබඳු පුද්ගලයා තුළ ඉබේම සමාධියත් වැඩෙනවා. එක අරමුණකට හිත යෙදීම තුළින්ම, අර මුර හටයා එක එක දේට හොඳට සතිය යොදන කොට ඒ තැනැත්තා තුළ සමාධියක් ඒ සුළු වේලාවේ නමුත් ඇතිවෙනවා. ඒ තැනැත්තාට පුළුවන් ඊට පස්සේ එක දීර්ඝ කාලයක් පවත්වන්න. ඔන්න ඔය ආර්ය අෂ්ටාංශික මාර්ගය සම්පූර්ණ කර ගැනීම තුළිනුයි කෙනෙකුට මේ උතුම් නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගෙන සියලු සංසාර දුකින් අත් මිදිලා ඒ අමා මහ නිවන් සුවයෙන් සැනසීම ලබාගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අද දින මේ වටිනා පෝය දවසක්. බුදුපියාණන් වහන්සේ ධර්ම චක්‍රය පෙරළූ දවසක්. එතකොට මෙන්න මේ ධර්ම චක්‍රය තම තමන්ගේ විත්ත සන්තානය තුළ පෙරලලා මේ කියාපු දුක් කඳෙන් මිදීමට උත්සාහ ගතයුතුව තිබෙනවා. අද එතකොට මේ වටිනා දවසේ තමන්ට අයිති ශීලයෙන් හෝ එහෙම නැත්නම් වටිනා ශීලයක් හෝ පිහිටලා මේ විදියට මේ ධර්ම ශ්‍රවණය කළා, පැයක් පමණ වේලාවක් තුළ. මේ අවස්ථාව තුළ අර කියාපු ධර්මයන් යම් යම් ප්‍රමාණයකට මේ පින්වතුන්ගේ පුණ්‍ය ශක්තිය, ඥාන ශක්තිය, අනුව සමහර විට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙන්නට ඇති. කොටින්ම කියනවා නම් මේ අවස්ථාව වෙන දේවල් වලට, ලෞකික දේවල් වලට, යොදලා හිටියා නම් මෙබඳු සැනසිලිදායක පිරිසිදු සිතුවිලි සමූහයක් ඇතිවෙන්නේ නැහැ. අන්න සන්දිට්ඨීක අකාලික වශයෙන් ධර්මයෙහි වටිනාකමත් ඒ අනුව තේරුම් ගන්නට ඕන.

දැන් එතකොට මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ පින්වතුන් රැස්කරගත්ත පුණ්‍ය සම්භාරයක්. ආනිසංස වශයෙන් අර බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ අන්දමට ශ්‍රද්ධාව, වීර්‍යය, සතිය, සමාධිය, ප්‍රඥාව කියලා කියන ධර්ම මේ පින්වතුන්ට මේ අවස්ථාවෙම ප්‍රත්‍යක්ෂකර ගන්න පුළුවන්. යම්කිසි ප්‍රමාණයක ශ්‍රද්ධාවක් ඇතුව ඊළඟට එක අනුව ගිය වීර්යයක් ඇතිව මේ කාලය තුළ මේ ඉරියව්වේ ඉඳගෙන ඊළඟට ඒ අනුව සතිය පිහිටුවා ගෙන ධර්ම ශ්‍රවණය කරලා යම්කිසි සමාධියකුත් අත්දැක්කා. ඊළඟට යම්කිසි ධර්ම වැටහීමක් ඇති වුනා නම් ඒකෙන් ප්‍රඥාව දියුණු වෙනවා. ඔය විදියට කල්පනා කරලා බලනකොට ක්‍රම ක්‍රමයෙන් ටිකෙන් ටික හෝ මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා මේ මනුෂ්‍ය ජීවිතයෙන් ගතහැකි උපරිම ප්‍රයෝජනය, අර ක්ෂණ සම්පත්තියෙන් ගතහැකි උපරිම ප්‍රයෝජනය, ගැනීමට හොඳට අධිෂ්ඨාන කරගන්නට ඕන. එහෙම අධිෂ්ඨාන කරගෙන මෙතෙක් මේ ධර්ම ශ්‍රවණ වශයෙන් රැස්කරගත්තු කුසල් රාශියේ ආනිසංස වශයෙන් මොලොවදීම, හැකිතාක් ඉක්මනින්, සෝවාන්, සකදාගාමී, අනාගාමී, අර්හත් කියන මාඟී ඵල තුළින් අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට ශක්තිය, බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්නට ඕන. ඒ වගේම දැන් මෙතෙක් රැස්කරගත්තු කුශල සම්භාරය - අපි දෙගොල්ලම මේ ධර්ම ශ්‍රවණමය. ධර්ම දේශනාමය වශයෙන් රැස්කර ගත්තු කුශල සම්භාරය - ශාසනාරක්ෂක දිව්‍ය මණ්ඩලයත්, ඒ වගේම මේ පූජනීය ස්ථානයට අරක් ගත් යම් දෙවි දේවතා පිරිසක් ඇත්නම් ඒ හැම දෙනාමත් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා! හැමදෙනෙක්ම තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා! අපටත්, ශාසනයටත් ආරක්ෂා සලසත්වා! කියලා දෙවියන්ටත් අනුමෝදන් කරන්නට ඕන. ඒ වගේම තම තමන්ගේ ඤාතීන් නැසී මිය පරලොව ගිය ඥාතීන් ඇතුළව අවීචියේ පටන් අකනිටා දක්වා වූ යම්තාක් සත්ත්ව කෙනෙක් පින් කැමති, නිවන් කැමති සිටින් නම් ඒ හැම දෙනෙක්මත්, අපේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලය අනුමෝදන් වෙත්වා! අනුමෝදන් වී සියලු දුඃඛි තත්ත්වවලින් අත්මිදී, සුඛි තත්ත්වවලට පත්වී, හැකිතාක් ඉක්මනින් බණ භාවනා කරලා උතුම් අමා මහ නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාව ඇතිව මේ ගාථා කියලා පින් පමුණුවන්න.

’එත්තාවතා ච අම්හේහි…….”